The National Peace Council (NPC)

ta  en  getsinhala2

ජනතා විශ්වාසය දිනා ගැනීම ආරක්‍ෂාව සහතික කරයි

ආචාර්ය ජෙහාන් පෙරේරා
සාම්පුර් ප‍්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘති සඳහා අක්කර 800 ක් වෙන්කර දීමටත්, ඉතිරි නිදහස් කර ගත් ඉඩම් එම ප‍්‍රදේශයේ අවතැන්වූ ජනයා නැවත පදිංචිකරවීමටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ කටයුතුවලට ඉඩ සැලසීම සඳහා මෙම ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නාවික කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස ඔහු නියෝග කර ඇත. එල්.ටී.ටී.ඊ පාලනය යටතේ පැවැති සාම්පූර් ප‍්‍රදේශය 2006 දී ශ‍්‍රී ලංකා හමුදාව නැවත අත්පත්කර ගැනීමෙන් අනතුරුව මෙම ජනතාව අවතැන් විය. සාම්පූර් ප‍්‍රදේශයේ පවත්නා යුද්ධමය උපාය මාර්ගික පිහිටීම නිසා ඒ අසල පැවැති ති‍්‍රකුණාමල වරායට සහ එහි නාවික කඳවුරට කාලතුවක්ක ප‍්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ය සාම්පූර් ප‍්‍රදේශය යොදා ගන්නා ලදී. ඉන්පසුව මෙම ප‍්‍රදේශය රජය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය නාවික කඳවුරක් හා අධි ආරක්ෂක කලාපයක් පිහිටුවීම ඇතුළු රජයේ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබිණි.

ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් විවේචනය කරන විරුද්ධ පක්‍ෂයේ කොටසක් මේ මඟින් ඔහු ජාතික ආරක්‍ෂාව අනතුරට ලක්කර ඇති බව ප‍්‍රකාශ කරයි. කෙසේවුවද හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුව සිටටි දැනට නැගෙනහිර ආණ්ඩුකාරවරයා වන ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මෙයට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ මේ පිළිබඳව නාවික හමුදාපති ඇතුළු හමුදා බලධාරීන් සමග සාකච්ඡුා කොට මෙම තීරණයට එළඹුණු බවය. ජනාධිපතිවරයාගේ මෙම ක‍්‍රියාමාර්ගය හරහා පෙන්වා දෙන්නේ ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳ චින්තනය, ඉඩම් වැනි භෞතික සම්පත් පාලනයට පමණක් නොව ජනතාවගේ සිත් සතන් දිනාගැනීම පිළිබඳවද යොමුවී ඇති බවය.

සාම්පූර්වල අගය එහි පවත්නා යුද ක‍්‍රමෝකයික වැදගත්කමට, පමණක් සීමා කළ නොහැක. සැලසුම් කරන ලද ඉන්දීය ගල් අගුරු බලාගාරය පිහිටුවීමට ද සාම්පූර් ප‍්‍රදේශය තෝරාගෙන ඇති බැවින් අනාගත ආයෝජකයින්ට මෙම ඉඩම්වල ඇති අගය වැඩිවනු ඇත. ආයෝජන කටයුතු සඳහා සාම්පූර්වල පමණක් නොව කොළඹ ඇතුළු වෙනත් ප‍්‍රදේශවල ඉඩම් ද රජය පවරා ගෙන තිබේ. පසුගිය රජය සාම්පූර් ප‍්‍රදේශයේ මෙම ඉඩම් පවරා ගැනීමට හා එය ආයෝජන කලාපයක් ලෙස නම් කිරීමට තීරණය කළේ එහි පදිංචි වී සිටි ජනයාගේ කැමැත්ත ලබාගැනීම හෝ අඩු තරමින් ඔහුනට නාමික වශයෙන් සෑහීමකට පත්විය හැකි විකල්ප ඉඩම් ලබාදීමෙන් පසුව නොවේ. මෙහි සම්පූර්ණ බලපෑම වූයේ එහි පදිංචි වූවන් බලෙන් ඉවත් කිරීම හා දශකයක, පමණ කාලයක් ඔවුන්ට සුබසාධක කඳවුරුවල ගතකිරීමට සිදුවීමය.

තමන් පාරම්පරිකව ජීවත්වූ නිවෙස් හා ඉඩම්වලින් බලෙන් පන්නා දැමීම ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ සියලූම ප‍්‍රජාවන්ට අයත් පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවූ අවසානාවන්ත ඉරණමකි. උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් යුද කලාපවල මෙය සුවිශේෂවේ. 1990 දී එල්.ටී.ටී.ඊ ය විසින් උතුරේ ජීවත් වූ මුස්ලිම් ජනතාවට මහා පරිමාණ වශයෙන් මෙම ඉරණම අත්කර දෙන ලදී. 2009 දී එල්.ටී.ටී.ඊ යේ අවසන් යුදමය පරාජයට පසුව ඔවුනට තම ගම්බිම්වලට ආපසු යාමේ අවස්ථාව උදාවිය. මායිම් ප‍්‍රදේශවල කුඩා ගම්මානවල ජීවත්වූ ප‍්‍රජා කණ්ඩායම් තුනට අයත් ජනතාවට තම ගම්බිම් අත්හැර යාමට සිදුවිය. එහෙත් ඔව්හු අද ආපසු ගෙන්වා ගැනීමට නොහැකි අයුරින් දැඩි ලෙස එක් එක් ප‍්‍රදේශවලට විසිර ගොස් ඇත. කෙසේ වුවද යුද කාලයේ සිදුවූ අවතැන් කිරීම් හා පශ්චාත් යුද කාලයේ පැවති රජ්‍ය සිදුකළ අවතැන්කිරීම් අතර කැපී පෙනෙන වෙනසක් පවතී.

ආදර්ශවත් කි‍්‍රයාවක්
යුද කලය තුළදී යුද වැදී සිටින සෑම පාර්ශ්වයක්ම ක‍්‍රමෝපාය සලකා බැලීම් හා ආරක්‍ෂක කටයුතු සඳහා උපරිම ප‍්‍රමුඛතාවයක් ලබාදෙනු ඇත. එහෙත් පැවති රජය සිදුකළ සමාවක් දිය නොහැකි කරුණ වන්නේ මහා පරිමාණ වශයෙන් ඉඩම් අත්පත්කර ගැනීම දිගටම කර ගෙන යාම වේ. ආරක්‍ෂාව පිළිබඳ හේතු ඉදිරිපත් කරමින් ඔව්හු දුප්පත් අහිංසක මිනිසුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම් කෙතරම් දුරට ප‍්‍රමාණය ඉක්මවා ගියේදැයි කිවහොත් එම ඉඩම් හෝටල් ඉදිකිරීමට, ගොල්ෆ් ක‍්‍රීඩා පිටි තැනීමට හා ආරක්ෂක හමුදාවේ කෘෂිකාර්මික කටයුතුවලට එම ඉඩම් යොදාගෙන තිබුණි. මෙහිදී ප‍්‍රධාන ඉලක්කය දමිළ ජාතිකයින් පදිංචි ඉඩම් වලට යොමුවී තිබිණි. මේ අයුරින් යාපන අර්ධද්වීපයේ පමණක් ඉඩම් අක්කර 7000 ක් පමණ අත්පත් කර ගැනීම මෙයට කදිම සාක්‍ෂියකි. ඔවුන් එතැනින් නොනැවතී සිංහලයින් පදිංචි ප‍්‍රදේශවල පවා ඉඩම් අත්පත් කර ගන්නා ලදී. නැගෙනහිර පළාතේ ඉතා දුෂ්කර ප‍්‍රදේශයක පිහිටි සිංහල ගමක් වන ‘‘පානම’’ අත්පත් කර ගැනීම මෙවැනි සිද්ධියක් පමණි. මේ සියල්ලම අත්පත් කර ගෙන ඇත්තේ යුද්ධය අවසන් කිරීමෙන් පසුවය.

මෙම ඉඩම් නැවත එම ජනයාට ලබාදීමට ජනාධිපති සිරිසේන මහතා ගත් තීරණය දේශපාලන නායකත්වය පිළිබඳ ආදර්ශමත් කි‍්‍රයාවකි. ඔහු මෙය සිදුකළේ පැකිලීමකින් තොරවය. ප‍්‍රචාරයක් නොමැතිවය. නැතහොත් ප‍්‍රසිද්ධියක් ලබානොදෙමිනි. සාධාරණයක් උදෙසා මෙවැනි ජයග‍්‍රහණයක් අත්පත් කර දිය හැක්කේ තීරණාත්මක දේශපාලන නායකත්වයකට පමණි. අතීතයේදී සිවිල් සමාජ කණ්ඩායම්වල ආධාර ඇතිව සාධාරණයක් ලබා ගැනීම සඳහා විවිධ වූ උත්සාහයන් දරන ලදී. එහෙත් ඒවා සාර්ථක නොවිණි. යාපන අර්ධද්වීපයේ ඉඩම් අත්පත්කරගත් ඉඩම් සම්බන්ධයෙන් අධිකණයට ඉදිරිපත් කරන ලද නඩු 2000 ක් පමණ පවතී. මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන ක‍්‍රියාකාරීත්වයක් පෙන්වන ලද සිවිල් සමාජ සංවිධානයක් ලෙස විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය දැක්විය හැකිය.

සාම්පූර් ප‍්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීමට ජනාධිපතිවරයා දුන් තීරණයට පසුව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් නිකුත් කරන ලද ප‍්‍රකාශනයක් මගින් දක්වන්නේ ආරක්‍ෂක කලාප පිහිටුවන ලද්දේ 12000 ක පමණ ජනතාවක් තම ඉඩම්වලට ආපසු පැමිණීම වැළැක්වීමට බවය. බලපාන ලද ජනයා වෙනුවෙන් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය නඩුවක් පැවරූ පසු අධි ආරක්‍ෂකා කලාපවල විශාලත්වය අඩුකොට අවතින් වූවන් සමහරකට තම ඉඩම් වලට ආපසු පැමිණීමට ඉඩ දුන් බව දක්වන අතර ප‍්‍රමාණයෙන් කුඩා අධිආරක්‍ෂක කලාපවල පැවත්ම නිසා තවත් බොහෝ දෙනෙකුට තමන්ගේ ඉඩම්වලට පැමිණීමට නොහැකි වූ බව දන්වයි. මීට පසුව 2012 දී බර කර්මාන්ත සඳහා විශේෂ කලාප පිහිටුවීම හේතුවෙන් යුද්ධයෙන් පසුවද ජනයා අවතැන් කිරීමේ කි‍්‍රයාවලිය දිගටම සිදුවිය. මේ නිසා ගත යුතුකි‍්‍රයාමාර්ග අනුගමනය නොකොට ආරක්‍ෂක හමුදා හා වෙනත් පුද්ගලයින් ඉඩම් අත්පත් කරගෙන සිටීම හා පදනම් විරහිත හිතුවකකාර ආධි ආරක්‍ෂක කලාපවල පැවැත්වම ගැන නැවත පරීක්‍ෂාකර බලන ලෙස එය රජයෙන් ඉල්ලා සිටී.

කළකිරීම් වළක්වා ගැනීම
මන්නාරම දිස්ත‍්‍රික්කයේ උතුරු වෙරලාසන්නයේ ඇති මුල්ලිකුලම් ගම මෙවැනි තවත් නිදසුනකි. යුද්ධය අවසන් කළ පසුව මෙම ගම නාවික කඳවුරක් සඳහා අත්පත්කර ගෙන ඇත. දැනට යුද්ධය අවසන් වී වසර 6 ක් ගතවී ඇත. මෙහි ජනයා දැනට ලදු කැලෑවක් අසල පොල්අතු නිවාසවල තවමත් තම දිවි ගෙවති. ඔවුනට තම ජීවනෝපාය අහිමිවී ඇත. ඔවුන්ගේ පල්ලිය කඳවුර මැද පිහිටා ඇත. එයට යාම සඳහා අවහිර කිරීම් නොමැති වුවද, එය ඔවුන්ට සතුටු විය හැකි තැනක්සේ නොපෙනේ. ඔවුන්ගේ ගොවිතැන් සඳහා ජලය ලබාගත් වැව් තවදුරටත් ප‍්‍රවේශ විය හැකි මට්ටමක නොපවතී. මුල්ලිකුලම් ගම ගැන දිගමට දක්වනු ලබන නොසලකා හැරීම අනුව ප‍්‍රතිසංධානය ප‍්‍රවර්ධනය කිරීමේ රජයේ අපේක්‍ෂාව පිළිබඳ ධනාත්මක උනන්දුවක් දක්නට නොමැත.

‘‘තිස් වසරක යුද කාලය තුළ කීපවරක්ම අවතැන්වූ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ජීවත්වූ ජනයා අතර මුල්ලිකුලම්වල ජනයාද විශාල ජනකොටසක් ලෙස සැලකිය හැකිය. 1984 දී ඔව්හු පළමුවරට අවතැන් විය. වසර දෙකකට පසු ඔවුහු තම ගමට පැමිණියද ඔවුහු වරින්වර අවතැන් භාවයට පත්වූහ. මේ හැම වාරයේදීම තමන්ගේ පැරණි නිවෙස්වලට හා ගොවිපොලවලට යම් දිනයදී ආපසු පැමිණිය හැකිය යන අදහස අත් නොහැරීයහ. මුල්ලිකුලම කතෝලික ගමකි. මෙහි සිටින කතෝලික පූජකතුමන්ලා තුළ පවත්නා කළකිරීම මා හමුවූ සෑම පූජකතුමකුගේම කතාව මගින් මට දැනගත හැකි විය. මෙහි සිදුවන ව්‍යුහාත්මක බෙලහීන කිරීම් ගැන එතුමන්ලා කථා කළහ. පිටතින් එන අය සාධාරණ ලෙස සලකා බලනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකි හෙයින් තමන්ගේ කටයුතු තමන් විසින්ම කරගෙනයාමේ බලයක් ලබා ගැනීමේ අවශ්‍යතාව ගැන ඔවුන් තම අදහස් දැක්විය.

මුල්ලිකුලම් ජනයාගේ අඛණ්ඩව පවත්නා ඉරණම ගැන දැකීමෙන් හා රජයේ කඩ කරන ලද පොරොන්දු ඇසීමෙන් පසුව දමිළ ජන කොටස් හා දමිළ ඩයස්පෝරාව තුළ මෙවැනි අදහස් දිගටම පැවැත්වීම පිළිබඳ හේතු මට පැහැදිලි කර ගත හැකි විය. දමිළ ජනයාගේ දුක්ගැනවිලි විසඳීම සඳහා රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම් කටයුතුවල නොයෙදෙන්නේය යන කළකිරීම් හැඟීමක් දමිළ ජන කොටස් අතර දැනට පැතිරෙමින් පවතී. ජනාධිපතිවරයාගේ බලය අඩුකරන, එම බලය පාර්ලිමේන්තුව සමග බෙදාහරින හා ස්වාධීන කොමිෂන් සභා පත්කරන 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම බලය බෙදා ගැනීමේ පළමු පියවර ලෙස දැක්විය හැකිය. ප‍්‍රතිසංවිධාන කි‍්‍රයාවලිය ශක්තිමත් වීමත් සමග වෙනත් ප‍්‍රතිසංස්කරණ සිදුවනු ඇත. මේ අතර සාම්පූර්, යාපනය, මුල්ලිකුලම සහ පානම යන පෙදෙස්වල ඉඩම් එහි ජනතාවට නැවත පැවරීම රජය හා ජනතාව අතර විශ්වාසය නැවත ගොඩ ගැනීමේ පියවර වල කොටසක් වන අතර එම කටයුත්ත ජාතික සමගිය ගොඩනැගීමේ ඉතා වැදගත් සහතිකයක් වනු ඇත.

OUR DONORS & PARTNERS

 
 
You are here: Home ප‍්‍රකාශන මුද්‍රිත ජනතා විශ්වාසය දිනා ගැනීම ආරක්‍ෂාව සහතික කරයි

Connect with us

Contact Information

Address: 12/14, Balapokuna Vihara Rd, Colombo 06.
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Phone: +94 11 281 8344, +94 11 285 4127, +94 11 280 9348
Fax: +94 11 281 9064


david-kilgour   |   writetoreconcile  |   www.outoftheframe.lk